ජනතාවට වඩාත් පහසුවෙන් සේවා සැපයීම අරමුණු කර ගනිමින් පළාත් පාලන ආයතන ආරම්භකර ඇති අතර පළාත් පාලන ආයතන වලට දීර්ඝ ඉතිහාසයක් ඇත. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අරමුණු කරගනිමින් පළාත් පාලන ආයතනය විසින් පරිපාලන හා නියාමන සේවා , මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය , පාරිසරික ආරක්ෂාව , පොදු මංමාවත් සහ පොදු සැපයුම්සේවා පවත්වාගෙන යාම සිදුකළ යුතු බව පළාත් පාලන අණපනත් තුළ දක්වා තිබේ.
එසේ උවද වර්තමානයේ ඇතැම් පළාත් පාලන ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔවුන් කටයුතු කරන්නේ ඉහත අරමුණු වෙනුවෙන්මද යන්න සැක සහිතය.
කුරුණෑගල මහනගර සභාව
වයඹ පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකෙන් එකක් වන කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රධානම නගර සභාව වන්නේ කුරුණෑගල නගර සභාවයි. විශාල ජනතාවක් කුරුණෑගල නගරය ආශ්‍රිතව ජීවත්වන අතර ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා කළ යුතු කාර්යන් බොහොමයක් ඇත.
එසේ උවද කුරුණෑගල මහ නගර සභාව වසරක් තුළ සිදුකර ඇති ව්‍යාපෘති හතරකින් රුපියල් කොටි 28 ට වැඩි අලාභයක් සිදුව ඇති බව එම ව්‍යාපෘති පිළිබඳ විමර්ශනය කිරීමේදී අනාවරණය විය.
එමෙන්ම නගර සභාවට අයවිය යුතු මුදල් අයකර නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි 13 ට වැඩි අලාභයක් සිදුව ඇති බවද මෙහිදී අනාවරණය කරගැනිමට හැකිවිය.
කුරුණෑගල මහනගර සභාවේ 2021 වසර අදාළව සිදුකර ඇති ව්‍යාපෘති සහ නගර සභාවේ කාර්ය සාධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා නිරීක්ෂණය කිරීමේදී මෙම කරුණු අනාවරණය වන අතර තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රයෙන් ලබාගත් සහ පාර්ලිමේන්තුවට යොමුකර ඇති වාර්තාවල තොරතුරු අනුව මෙම කරුණු අනාවරණය විය. ඒ අනුව කුරුණෑගල නගර සභාව සිදුකළ ව්‍යෘපෘති හතරකින් අහිමිවී ඇති මුදල රුපියල් කෝටි 28 ක් හෙවත් මිලියන 288 කි ( 288,168,319) . එමෙන්ම නගර සභාවට අයවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 13 ක් හෙවත් මිලියන 132 (132868926) .
එමෙන්ම වසරක් තුළ නගර සභාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේදී අනාවරණය වු තවත් කාරණා කිහිපයකි. ඒවා මෙසේය,
ප්‍රධාන තනතුරු හිඟවෙයි – ප්‍රාථමික තනතුරු වැඩිවෙයි
නගර සභාවේ විගණන හා කළමනාකරණ කමිටු වර්ෂයකට 04 ක් පැවැත්විය යුතු උවද කුරුණෑගල නගර සභාව විසින් පවත්වා ඇත්තේ විගණන හා කළමනාකරණ කමිටු දෙකක් පමණි.
එමෙන්ම නගර සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ප්‍රධාන තනතුරු කිහිපයක් පුරප්පාඩු තිබියදි ඒවා බඳවා ගැනීම අමතක කර අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා ප්‍රාථමික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් 105 කු බඳවාගැනිමට කුරුණෑගල නගර සභාව කටයුතු කර තිබේ. ප්‍රථමික කාර්ය මණ්ඩල සඳහා බඳවාගැනීමේදී මහනගර ආඥාපනතේ ප්‍රතිපාදන අනුව ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මත බඳවාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් විමසීමේදී නගර සභාව විසින් සඳහන් කළ ද නගර සභාව තුළ මේවනවිට ප්‍රාථමික කාර්ය මණ්ඩල අතිරික්තයක් ඇත.
හිඟ මුදල් නොලැබීම
කුරුණෑගල නගර සභාව සඳහා 2021 වර්ෂය වන විට අයවිය යුතු හිඟ කඩ කාමර ආදායම රුපියල් ලක්ෂ 45 කට අධික වන වන අතර (4,530,982 ) හිඟ වරිපනම් ලෙස කෝටි 04 වැඩි මුදලක්( 49438628 ක්) අයවිය යුතුව තිබේ. වරිපනම් බිල්කිරීම් වලින් කෝටි 07 වැඩි මුදලක් (78899361 ) හිඟව පවතින බව නගර සභාව විසින්ම අනාවරණය කරගෙන ඇති අතර මෙම මුදල් අයකරගැනීමේ පියවර ඉතා මන්දගාමී වී තිබේ.
බඩු මිලදීගෙන ඇත – වැඩ සිදුවී නැත
රුපියල් කෝටි 02 අධික වටිනාකමක් වු (23714880 ක්) ජල ඒකක 1,206,724 වු අසාමාන්‍ය ජල අපතය වැලැක්වීම සඳහා සභා තීරණයක් මත ජල නල උපකරණ අළුත්වැඩියා කිරීම සඳහා 2021.10.21 දින වනවිට රුපියල් ලක්ෂ 23 ක් ( 2355610 ක්) වටිනා උපකරණ මිලදීගෙන ඇත. එමේ උවද සභා තීරණයේදී සඳහන් කරනලද පරිදි අලුත්වැඩියාවක් නගරසභාව සිදුකර නොමැති අතර උපකරණ සභා ගබඩාවේ ඇතිබව නගර සභාව විසින් සිය වාර්තා මගින් පාර්ලිමේන්තුවට ද දැනුම්දී ඇත. උපකරණ ප්‍රයෝජනයකට නොගෙන මේ ආකාරයෙන් දිරාපත්වීමට හා විනාශ වීමට ඉඩහැරීම නාස්තියකි.
2014 වර්ෂයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 30 ක් වැය කර ස්ථාපිත කර ඇති ජීව වායු ඒකකය පිළිබඳව 2021.10. 25 වන දින වනවිටත් පරිසර අධිකාරියෙන් පසු විපරම් වාර්තාවක් ලබා නොගැනීම මෙන්ම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරන යන්ත්‍ර දෙකක් 2021.10.01 වන විටත් අලුත්වැඩියා කර නොතිබීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් නගර සභාවේ පිළිතුර වී ඇත්තේ අදාළ ජීව වායු ඒකක ඉදිකිරීමේදී ඇතිවු ගැටළු හේතුවෙන් අලුත්වැඩියා කිරීමෙන් පළක් නොවන බවත් ඒවා අක්‍රීයව පවත්වාගෙන යන බවත්ය. ඒ අනුව ඒ සඳහා වැය කළ මුදල් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ ගොස් තිබේ.
මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ඇස්තමේන්තු
කුරුණෑගල මධ්‍යම වෙළදපොළ ඉදිකිරීමේ කටයුතු මේවනවිට ආරම්භකර තිබේ. මෙම මධ්‍ය වෙළදපොළෙහි පළමු ඇස්තමේන්තු මුදල ලෙස රුපියල් කොටි 68 ක වටිනාකමක් ඉදිරිපත් කර ඇති අතර එවැනි ප්‍රසම්පාදන කළ යුතතේ අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවක අධිකාරි බලය මත උවද මහනගර සභාව එසේ සිදුකර නොමැත. එමෙන්ම මේ සම්බන්ධයෙන් මහනගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 41% ක එනම් රුපියල් කෝටි 28 ක් වැඩිකර සංශෝධනය කළ ඇස්තමේන්තුවක් පදනම් කරගනිමින් නගර සභාව කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ.
මෙම ව්‍යාපෘති නිවැරදිව අදාළ වර්ෂයන්ගේ අයවැය තුළට ඇතුලත් කර නොමැති අතර මේසම්බන්ධයෙන් රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කාරක සභාවේද දැඩි අවධානයට යොමුව ඇත.
එමෙන්ම මධ්‍යම වෙළඳපළ පළමු හා දෙවන අදියර යටතේ ඉදිකර ඇති කඩකාමර 123 ක් හා මාළිගාපිටිය කඩ කාමර 12 ක් දීර්ඝකාලීන බදු ක්‍රමයට බදු දීමේ දී විධිමත් ක්‍රමයට අනුමැතිය ලබා ගෙන නොමැති බවද කුරුණෑගල මහනගර සභාවේ කාර්ය සධාන වාර්තා අනුව අනාවරණය වේ. රජයේ තක්සේරුව ලබා නොගැනීම අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමය කිරීම හා ඇස්තමේන්තු විනිවිධ භාවයෙන් තොරව පළමු ගැනුම්කරුට බදු දීම ආදී අක්‍රමිකතතා රැසක් මේ හරහා අනාවරණය වී තිබේ.
අදාළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදෙන ලෙසද රජයේ ගිණුම්කාරක සභාව විසින් නගර සභාවට නියෝගකර තිබේ. මෙවැනි අත්තනෝමතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා නියමිත අංශ පිළිවෙලින් දැනුවත් කරමින් පළාත් පාලන ආයතන විසින් කටයුතු කළ යුතු බවට වන නිර්දේශ පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබාදිය යුතු බවටද රජයේ ගිණුම්කාරක සභාව විසින් නියෝග නිකුත්කර ඇත.
අවශ්‍යතාවයට වැඩියෙන් හා නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංගනය කර අනන්‍යතාවය තහවුරුකළ නොහැකි ආයතනයකින් පොලිසැක් මළු මිලට ගැනීම නගර සභාව විසින් සිදුකර ඇති තවත් අක්‍රමිතතාවයක් ලෙස දැක්විය හැක. ඒ සම්බන්ධ තොග ලේඛණ විධිමත්ව නඩත්තු කර නොමැති අතර ඒවා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් නොමැතිව අනන්‍යතාවය තහවුරු කළ නොහැකි ආයතනයකින් ලබාගෙන තිබීම ඇතුළු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විවිධ අක්‍රමිකතා නගර සභාව මගින් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කාරක සභාවද නගර සභාවෙන් විමසා ඇති අතර පිළිතුරු ලෙස ප්‍රකාශ කර ඇත්තේ 2019 වර්ෂයේ පොලිසැක් කවර තහනම් කර තිබු බැවින් හිඟයක් පැවැති බවත් එවැවින් බාහිරින් ඇණවුම් ලබාගත් බවය. කෙසේවෙතත් මේසම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේද සහය ඇතිව පරීක්ෂණයක් සිදුකරන ලෙස නාගරික කොමසාරිස්වරයාට වෙත කෝපා කාරක සභාව නියෝග කර තිබේ.
බස් නැවතුම් පොළෙත් අක්‍රමිකතා
කුරුණෑගල බස් නැවතුම් පොළහි මගී ජනතාවට පහසුවෙන් රුදීසිටීමට වෙන්කර ඇති හිස් අවකාශවල කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදිකර ගැනීමට පුද්ගලයින් 31 කුට නගර සභාව විසින් අවසර ලබාදී ඇත. මෙය ආර්ථික උත්පාදන මාර්ගයක් ලෙස මහ නගර සභාව විසින් අර්ථ දක්වා තිබුණද බස්නැවතුම්පොළෙහි මුලික සැලැස්මමෙන් බැහැරව අනුමැතියකින් තොරව විධිමත් ටෙන්ඩර් පටිපාටියකට පටහැනිව මෙම ඉදිකිරීම් සිදුකර තිබේ. සැබැවින්ම එය අක්‍රමිතාවයකි.
මේ සම්බන්ධ කාර්ය සාධන වාර්තා නගර සභාව මගින් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවටද යොමුකර ඇති අතර මෙම ක්‍රියාවලියේ බදු දීමේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංගණය වී ඇති බවද ලංසු සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව ඇති බවද කෝපා කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
ගිණුම් කාරක සභාවත් නියෝග නිකුත් කරලා
කුරුණෑගල නගර සභාවේ සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව රජයේ ගිණුම් කාරක සභාවද නියෝග නිකුත්කර ඇත. මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පළාත් සභා ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු පැවැත්විය යුතු බවට රජයේ ගිණුම් කාරක සභාව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමෙන් පසු නියෝග කර ඇත .
එමෙන්ම කුරුණැගල නගර සභාවේ මෙම ක්‍රියාකලාපය අනාවරණය කරගැනීමෙන් පසුව පළාත් පාලන ආයතන විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලි ඇතුළුව බොහෝ අවස්ථාවල අක්‍රමවත්ව කටයුතු කිරීමේ ප්‍රවණතාවය පිළිබඳ සඳහන් කර එම ක්‍රියා වළක්වාගැනීමට ක්‍රමවේද සකස්කරන ලෙස සියලුම ආණ්ඩුකාරවරුන්ට දැන්වීමටද කාරක සභාව නියෝගයක් නිකුත්කර තිබේ.
එමෙන්ම පළාත් පාලන ආයතනයන් ස්වකීය කර්තව්‍යයන් ඉටුකිරීමේ රජයේ ප්‍රසම්පාන මාර්ගෝපදේශ මුදල් රෙගුලාසි හා අනෙකුත් නෛතික විධිවිධානවලින් බැහැර විය නොහැකි බව අවදානයට ලක්කර තිබේ. එමෙන්ම පවත්නා නීති රෙගුලාසි වලට අනුගත වෙමින් ක්‍රියා කරන පරිදි පළාත් පාලන ආයතනවල කටයුතු විධිමත් කිරීම සම්බන්ධව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු වගකීම කාරක සභාව විසින් අවධාරනය කර ඇත. ඒ අනුව අත්තනෝමතික හා නීත්‍යානුකූල නොවන ක්‍රියා ඉදිරියේදී වළක්වාගැනීම සඳහා නියමිත අංශ දැනුවක් කරමින් පළාත් පාලන අයතන විසින් කටයුතු කළ යුතු බවට වන නිර්දේශ පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් ලබාදිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කර තිබේ.
රජයේ ගිණුම්කාරක සභාව මගින් ආනාවරණය කරගන්නා මෙම කාරණ සහ ඒවා සම්බන්ධයෙන් සිදුකරනු ලබන නියෝග වාර්තාවකට පමණක් සීමාකිරීම සිදුනොකළ යුතු බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කළේය. නිකුත්කර ඇති නියෝග සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන්ද පසු විමරම් කිරීමද වැදගත්බව හෙතෙම අවධාරණය කරයි.
කෙසේවෙතත් සිදුව ඇති මෙම දුෂණ වංචා පිළිබඳව කුරුණෑගල නගර සභාවේ නාගරික කොමසාරිස් සහ උප නගරාධිපතිවරයාගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද ඔවුන් ප්‍රතිචාර නොදැක්වීය.
එමෙන්ම නගර සභාවේ මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විවිධ ආයතන මගින් වාර්තා කැදවා ඇති අතර ඒවා සියල්ල සැපයීමට නගර සභාව මේවනවිට අපොහොසත්වී ඇත.
නගර සභාවක වසරක් තුළ සිදුවී ඇති පාඩුව දුෂණය වංචා පිළිබඳ තත්වය මෙසේනම් පළාත් පාලන ආයතනයන්හි නිල කාලය අවසන්වන විට තවත් කොපමණ අක්‍රමිකතා සිදුවිය හැකිද යන්න පිළිබඳ සුළුහෝ වැටහීමක් ගැනීමට මෙම අනාවරණයන් උපකාරී වේ.
කුරුණෑගල මහනගර සභාව ක්‍රියාත්මක වන්නේනේද අනිතුත් රාජ්‍ය ආයතන සේම මහජන බදු මුදලෙනි. මහජන බදු මුදල් ක්‍රියාත්මත කිරීමේදී සුපිලිපන්නභාවය ආරක්ෂාකරගැනීමට මහජන නියොජිතයින් අපොහොසත්වී ඇති බව මෙවැනි අනාවරණයන් මගින් තහවුරු වේ. මේ සම්බන්ධයෙන් ජනතාව අවධියෙන් සිටියුතු කාලය එළැඹී තිබේ.
චාමර සම්පත්
Leave a comment