– හික්කඩුව , බුද්ධික වීරසිංහ –
අතීතයේ පෙරදිග ධ්‍යාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද වනවිට බරපතළ ඛේදනීය ඉරණමකට ඇද දමා තිබේ. ලෝකයේ පිළිගත් ආර්ථික විශ්ලේෂකයන් අද ශ්‍රීලංකාව නම්කර තිබෙන්නේ වේගයෙන් කඩාවැටෙමින් පවතින ආර්ථිකයක් ඇති රටක් ලෙසිනි.එය ඉතාමත් දරුණු තත්ත්වයක පවතින බවද ඔවුන් අනතුරු හගවා ඇත.
ඇත්තෙන්ම අප රට බරපතළ ආර්ථික අවපාතයකට මුහුණ දී සිටියි.රටේ ඩොලර් සහ විදේශ මුදල් සංචිත සිදී ගොස් ඇත.උද්ධමනය වේගයෙන් ඉහළ යමින් පවතී.භාණ්ඩ මිල නොකඩවා වැඩිවීම නිසා ජනතාවගේ ක්‍රය ශක්තිය අඩුවී තිබේ.මේ සියල්ල හමුවේ අසරණ වී සිටින ජනතාව අරගල කරමින් මොරගා කියන්නේ දේශපාලකයන් විසින් හොරා කෑ මුදල් නැවත රටට ලබාදෙන ලෙසය.මේ ඉල්ලීම ඉටු කිරීමේ වගකීම ඇත්තේ රටේ ව්‍යවස්ථාදායකයට ,විධායකයට සහ අධිකරණයටයි.
දේශපාලකයන්ට අමතරව ඇතැම් රාජ්‍ය නිළධාරීන් ද සුවසේජනතාවගේ මුදල් හොරා කා ඇති බව පෙනෙන්නේ ඒ පිළිබඳව ගැඹුරු ලෙස ගවේෂණය කිරීමෙනි.මෙයද එවන් එක් අවස්ථාවකි.
හම්බන්තොට දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2593 ක වපසරියකින් යුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 12 කින් සමන්විත ප්‍රදේශයකි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය සහ ඊට අනුයුක්ත අංශවල අභ්‍යන්තර පාලනය පිළිබඳව සොයා බැලීමේ දී අනාවරණය කරගත් දේ මෙසේය.
2020 වර්ෂය වෙනුවෙන් පිළියෙල කර තිබූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය අනුව වෙනත් ලැබීම්වල වටිනාකම රුපියල් 547,787,346 ක් වුවද භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත වාර්තාවේ එම වටිනාකම සදහන් කර ඇත්තේ රුපියල් 533,011,912 ක් ලෙසිනි.ඒ අනුව රුපියල් 14,775,434 ක අඩුවක් පවතී. තවද මූල්‍ය තත්ව ප්‍රකාශයේ සදහන් දේපල හා උපකරණ වටිනාකම රුපියල් 5,356,237,188 ක් වූ අතර, භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත අනුව එම වටිනාකම රුපියල් 5,145,977,819 ක් වීම හේතුවෙන් එහිද රුපියල් 210,259,369 ක අඩුවක් පැහැදිලිව දක්නට ඇත.
තවද නිළධාරීන්ට අත්වැරදීම් සිදුවන්නේ ද රුපියල් මිලියන ගනන් වලිනි.මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය යටතේ අත්තිකාරම් ගෙවීම් රුපියල් 20,633,616 අඩුවෙන් ද,ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය යටතේ තැන්පතු ගෙවීම් රුපියල් 20,633,616 වැඩියෙන් දක්වා ඇත. පිළිතුර වූයේ අත්වැරදීමකි.
අම්බලන්තොට, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන සැලසුම්
ඇස්තමේන්තු සකස්කිරීමේදී , ප්‍රධාන ගනන් දීමේ නිළධාරීන්ට අරපිරිමැස්ම, කාර්යක්ෂමතාවය, විධිමත් බව සහ අවංක භාවය යන කරුණු මත එම කටයුතුවල නිරතවන ලෙස උපදෙස්ද දී ඇති තත්වයක් තුළ ඔවුන් එම වගකීම ඉටු නොකර කටයුතු කර ඇත.
රජයට අයවිය යුතු ණය ශේෂ නොපමාව අයකර ගැනීමට කටයුතු කලයුතු වුවද මෙහිදී එවැන්නක් දක්නට
නොලැබේ.හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය ආයතන වල හා කාර්යාලවල සේවය කරන නිළධාරීන් සම්බන්ධ සියලු වගකීම් ඇත්තේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටය. විශ්‍රාම ගිය නිළධාරීයෙකුගෙන් රුපියල් 141,260 ක ණය ශේෂයක් ද , වැඩ තහනම් කර තිබූ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් 443,538 ක අක්‍රිය ණය ශේෂ ද , සේවය අතහැර ගොස්තිබූ නිළධාරීන් තිදෙනකුගෙන් එකතුව රුපියල් 314,515 ක ණය ශේෂ 2020 දෙසැම්බර් 31 දිනට අයකර ගත යුතු වුවද ඒවා අයකර ගෙන නොමැත .
ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී මුදල් රෙගුලාසි සංග්‍රහයේ 50(¡¡) ප්‍රකාරව කටයුතු කලයුතු වුවද ඒ කිසිවක්
සැලකිල්ලට නොගෙන කටයුතු කර ඇති බව තහවුරු විය. සපිරිගම ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 191,742 ක් , පොලියර් වත්ත සතිපොල සැකසීමට රුපියල් 128,310 ක්,ලුණුගම්වෙහෙර සතිපොල සංවර්ධනය කිරීමට රුපියල් 193,930 ක් සහ කාවන්තිස්ස තුරු සෙවණ භූමියේ සතිපොල ඉදිකිරීමට අදාළව රුපියල් 143,053 ක් වශයෙන් මුලු එකතුව රුපියල් 657,035 ක් වැඩියෙන් ඇස්තමේන්තු කර ඇත.
මුදල් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් නිළධාරීන්ට හිතූමතයට තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තරමටම ඔවුන් එඩිතර වී ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05 විසින් ඉටුකර තිබූ කර්මාන්ත 07 කට අදාළ ඇස්තමේන්තු සැකසීමේදී නිවැරදි ගෙවීම් අනුපාතයන් යොදා ගෙන නැත. එමනිසා වැඩිපුර ගෙවූ මුදල රුපියල් 842,872 ක් විය. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අලිඔලුආර කෘෂි ඇල මාර්ගයට පැති බැම්ම සකස් කිරීමේදී පස්කපා පැටවීම සිදුකර නොතිබුණ ද ඊට රුපියල් 66.400 ක් ගෙවා තිබුණි.තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පහේගෙදර අසල සිට සිංහලගෙදර දක්වා මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම සහ කැටගල් ඇතිරීම ව්‍යාපෘතියෙහි පරීෂාවට ලක් කල කැටගල් වලින් 50% ක්ම බාල වර්ගයේ ඒවා විය.
ථේරපුත්තාභය ශ්‍රී රාගල්ගම ,සියල්සෙත්ගම යන ගම්මාන සම්බන්ධ වන අභ්‍යන්තර මාර්ග බොරළු දමා සංවර්ධනය කිරීමේදී බොරළු ඝන මීටර් 96.2 ක් අඩුවෙන් යොදා තිබුණි. එහෙත් ඊට රුපියල් 117,874 ක් වැඩියෙන් ගෙවීමට නිර්දේශ කර තිබුණි.
කිරින්දාගම ප්‍රථමික විද්‍යාලයේ ගොඩනැගිලි හා ක්‍රීඩාපිටිය වටා වැට සැකසීමට දී කාර්මික නිළධාරී විසින් විශේෂ
රේටයක් (SSR) සකස්කර තිබුණද එය ඉංජිනේරු මගින් අනුමත කර නොතිබුණු අතර මළ නොබැදෙන තීන්ත ආලේප නොකර තිබියදී ඒ වෙනුවෙන් රුපියල් 84,366 වැඩිපුර ගෙවා තිබුණි .
සිරිබෝපුර නව පරිපාලන සංකීර්ණයට යාබද නිළධාරීන්ගේ නිවාස සංකීර්ණයේ ජල බිල්පත් ගෙවීම වෙනුවෙන් 2013 වසරේ සිට අයකර ගත යුතු රුපියල් 2,578,309 ක් අයකර ගෙන නොතිබිණි .
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කාන්තා සමිතිවල සාමාජිකාවන් වෙත ස්‍වයං රැකියා සදහා ණය ලබාදීමට ප්‍රතිපාදන ලබාදී තිබුණි. ණය වාරික මාස 10 කදී සියයට 06 ක පොලියක් සහිතව අයකර ගැනීමට ගිවිසුම් ගතවී තිබුණි.නමුත් ණයලාභීන් 39 දෙනෙකු ණය මුදල් ගිවිසුම පරිදි මාස 10 කදී ණය මුදල් ගෙවා නොතිබිණි .
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මැදමුලන සමෘද්ධි බැංකු සංගමය මගින් කොවිඩ් 19 වසංගත තත්ව සමයේ සහන අරුණළු ණය වැඩසටහන යටතේ සමෘද්ධි නොවන ප්‍රතිලාභීන් 23 කට ලබාදුන් එකතුව රුපියල් 115,000 ක් නැවත අයකර ගැනීමට කටයුතු කර නොමැත.
මෙවන් තත්වයක් මත ජනතාව විසින් නිළධාරීන් හොරා කා ඇති මුදල් නැවත අයකර දෙන ලෙසට බලකරමින් අරගල කරන දවස වැඩි ඈතක නොවනු ඇත.. එවන් තත්වයක් ඇති වුවහොත් ඇතැම් දේශපාලකයන්ට අත්වූ ඉරණම රාජ්‍ය නිළධාරීන්ටද අත්වනු නොඅනුමානය..
Leave a comment