බුද්ධික වීරසිංහ, හික්කඩුව
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳව බරපතළ විවේචනයක් මේ වනවිට සමාජය තුලින්ම මතුවෙමින්
පවතී.නිළධාරීන්ගේ අල්ලස්,දූෂණ, සහ නාස්තිය එක පැත්තකින් රජ කරන විට, නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය,අවිධිමත් භාවය ,අවංක භාවය නොමැති වීම,අරපිරිමැස්ම නොමැති වීම ආදී කරුණු නිසාද මෙම විවේචන තීව්ර වෙමින් පවතී.එමෙන්ම තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා මත අවිධිමත් ආකාරයට තම හෙන්චයියං රාජ්‍ය සේවය ඇතුල් කර චන්දය පමණක්ම බලාපොරොත්තු වූ දේශපාලකයන් අද කියන්නේ රාජ්‍ය සේවය රටට මහා බරක් ඇතිවී ඇති බවකි.රාජ්‍ය සේවයේ මෙම කඩා වැටීමට හොදම උදාහරණ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ තොරතුරු සොයා බැලීමේදී අනාවරණය කරගත හැකිය.
2020 මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශ අනුව ස්ථාවර වත්කම් විෂයන් 03 ක පෙර වර්ෂයේ අවසාන ශේෂය හා වර්ෂයේ ආරම්භක ශේෂය අතර වෙනස රුපියල් මිලියන 303.67 විය.තවද 2020 වර්ෂයට අදාළ භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත වාර්තා අනුව හා මූල්‍ය ප්‍රකාශන වල අඩංගු මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශය අනුව විෂයන් 03 කට අදාළව වර්ෂය තුළ අත්පත් කර ගැනීම් හා අපහරණය කිරීම්වල වෙනස රුපියල් මිලියන 308.15 ක් හා මිලියන 41.062 ක් විය.
මූල්‍ය ප්‍රකාශන වල ඇතුලත් වන ගිණුම් ශේෂ උපලේඛන වල ගිණුම් ශේෂ සමග සමාන විය යුතු වුවද 2020
සමාලෝචිත වර්ෂය තුළදී මූල්‍ය නොවන වත්කම් පිළිබඳව ප්‍රකාශය අනුව ශේෂය රුපියල් මිලියන 302.87 ක වෙනසක් පවති.
2019 වර්ෂයේදී රුපියල් 3,255,303 ක් වියදම් කර ඉදිකර තිබූ ගේබියන් රැදවුම් බැම්මේ කොටසක් පෙරළී හානි වී තිබුණද එම හානිය තක්සේරු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තරම් අවශ්‍යතාවයක් නිළධාරීන්ට නොතිබිණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක විශ්‍රාම ගිය නිළධාරීන් පිරිසකගෙන් අයවිය යුතු ශේෂය රුපියල් 705,462 ක් අයවිය යුතුව ඇති අතර ඒ සදහා ක්‍රියාත්මක වීමේදී නිළධාරීන්ගේ අලස බවක් පෙනෙන්නට තිබේ.තවද වැඩ තහනම් වූ නිළධාරීන් තිදෙනකුගෙන් අයකරගත යුතු රුපියල් 108,248 ක් දීර්ඝ කාලයක සිට අය කර ගැනීමට කටයුතු කර නැත. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරීයෙකුගෙන් ද වසර 4 ක් තිස්සේඅයවිය යුතු ණය ශේෂය රුපියල් 136,665 ක් අයකර ගැනීමට කටයුතු කර නැත .
2013 ඔක්තෝබර් 07 දිනැති අංක 21/213 දරණ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛය
විධිවිධාන පරිදි රජයේ නිවාඩු දිනවල රාජකාරි ඉටුකිරීමේදී පූර්ව අනුමැතිය දිස්ත්‍රික් ලේකම් වෙතින් ලබාගත යුතුව ඇත.නමුත් මෙම චක්‍රලේඛ උපදෙස්පරිදි අනුමැතිය ලබා නොගෙන 2020 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පමණක් දින 22 ක් සදහා නිවාඩු දින වැටුප් ලබාගෙන තිබුණි .
ස්වාභාවික විපත් වලදී නිළධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හාස්‍යජනකය. ගංවතුර ආපදාවට ලක්වූ දේපල සදහා වන්දි
ගෙවීමේදී එකම කරුණක් සදහා චක්‍රලේඛ දෙකක් නිකුත්වී තිබුණි .එකක් 2017 ජුනි 5 වෙනිදාය. එම චක්‍රලේඛය අනුව රුපියල් මිලියන 2.5 ක උපරිම වන්දි මුදලක් ගෙවිය හැකිය. අනික 2018 මැයි දිනය රහිත නිකුත් වූ චක්රලේඛයකි. එමගින් ආපදාවට ලක්වූ දේපල සදහා උපරිම වන්දිය රුපියල් 100,000 කි. ඒ අනුව නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ගෙවීම් සිදුකර ඇත්තේ 2017 ජුනි 5 වන දින චක්‍රලේඛයට අදාළවය.මෙම වන්දි ගෙවීම
හේතුවෙන් රුපියල් 100,000 කට වැඩියෙන් වන්දි ගෙවා තිබුණු ව්‍යාපාරිකයන් සංඛ්‍යාව 122 ක් වූ අතර ගෙවා තිබුණු මුදල රුපියල් මිලියන 56.98 කි. තවද එකම ස්ථානයක වෙන් වෙන්ව ව්‍යාපාර දෙකක් පවත්වාගෙන ගිය බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි නොතිබියදීත් එකම ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාර දෙකක් පවත්වා ගෙන ගිය බවට ස්වාමිපුරුෂයා හා බිරිඳ යන දෙදෙනාටම පිළිවෙලින් රුපියල් 2,000,000 හා රුපියල් 1,521,000 ක් වශයෙන් ගෙවා තිබුණි.
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ,ගංවතුරින් හානි වූ දේපල සදහා වන්දි වශයෙන් රුපියල් 243,000 ක් වන්දි ලෙස ඉල්ලූ පුද්ගලයකුට රුපියල් 1,266,587 ක් වැඩිපුර වන්දි ගෙවා තිබුණද නිළධාරීන් එය සාධාරණීකරණය කරමින් කියා සිටින්නේ එය වැඩිපුර ගෙවීමක් නොවන බවයි.
රාජ්‍ය මුදල් නාස්තිය ජයටම සිදුවන්නේ නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් බවද කිව යුතුව ඇත. 2019 වර්ෂයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09 ක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රුපියල් මිලියන 103.28 ක් ව්‍යාපෘති 200 ක් විවිධ හේතූන් මත නිම නොකර අතහැර දමා තිබේ.එමෙන්ම නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් 200,000 බැගින් ප්‍රතිලාභීන් 10 දෙනෙකුට නිවාස ඉදිකිරීම සදහා මුදල් ලබා දුන්නද ඔවුන් එම ඉදිකිරීම් අතරමග නතර කර දමා ඇත.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 12 ක් මගින් 2020 වර්ෂයේ විවිධ
වැඩසටහන් යටතේ ව්‍යාපෘති 494 ක වැඩ අවසන් කිරීමට ප්‍රමාද වී තිබුණි.එම ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 427.1 ක් ගෙවා තිබුණු අතර ප්‍රමාද වූ ව්‍යාපෘති වල ප්‍රතිශතය මුලු ව්‍යාපෘති ගණනින් සියයට 27 ක් විය.නමුත් එම ප්‍රමාද වූ ව්‍යාපෘති කිසිවකින් ප්‍රමාද ගාස්තු අයකර ගෙන නැත.
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල්
1,000,000 ක වියදමින් ගාල්ල මකුළුව පළමු පටුමගෙහි ඉදිකර තිබූ පැති කාණුව අවසානයට වෙනත් ඇල මාර්ගයකට සම්බන්ධ වන ලෙස සකස්කලද එහි මට්ටම (Level) නිවැරැදි ලෙස නොමැති නිසා ජලය බැස යාමක් නොමැත.මේ හේතුවෙන් ප්‍රදේශයම බරපතළ සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී තිබේ.නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කල ජල ව්‍යාපෘති 03ක් සදහා රුපියල් 1,844,819 ක් වියදම් කර තිබුණද ඒවායේ ජලය පානය කිරීමට සුදුසු ගුණාත්මක තත්ත්වයක් නොමැති බව නිළධාරීන් විසින්ම පිළිගෙන ඇත.එමෙන්ම ව්‍යාපෘති තුනම ජල නල එලා වැඩ අවසන් කර නොතිබිණි.
ශ්‍රවණාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2019 ජනවාරි 30 ආරම්භ කර දින 720 ක් එනම් 2021 ජනවාරි 31 දිනට අවසන් කල යුතුව තිබුණි.මේ සදහා 2019 හා 2020 වර්ෂවල ලද ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 564.5.එයින් රුපියල් මිලියන 501.54 ක් හෙවත් සියයට 89 ක් පමණක් වියදම් කර තිබූ නමුත් ව්‍යාපෘතියේ කටයුතුවල භෞතික ප්‍රගතිය සියයට 18.45 ක් පමණය.මේ පිළිබඳව විමසීමේදී ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ මේ සදහා වර්තමාන කාලයට අනුව විශාල වියදමක් දැරිය යුතු වන අතර රජය මෙතෙක් ඒ සදහා ඉතිරි ප්‍රතිපාදන ලබාදී නොමැති බවයි.
Covid 19 හේතුවෙන් සහනාධාර බෙදාදීමේදී ද යම් අකටයුතු සිදුවී ඇති බව පෙනී යන්නේ බලපිටිය ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශයේ 86- ඩී ආදාදොළ ග්‍රාම නිළධාරී වසමේ පුද්ගලයන් 17 දෙනෙකුට එක් වටයකදී රුපියල් 5000 බැගින් පදනම් 02ක් යටතේ එකතුව රුපියල් 170,000ක් ගෙවා තිබුණු බැවින් එම පුද්ගලයන් 17දෙනාට පමණක් රුපියල් 85000ක් වැඩියෙන් ගෙවා ඇත.ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් තලාපිටිය ග්‍රාම නිළධාරී කොට්ඨාශයේ covid 19 ප්රතිලාභ ගෙවීමේදී අප්‍රේල් හා මැයි මාස වලදී ද්විත්ව පදනමක් මත පුද්ගලයන් 25 දෙනෙකුට ප්රතිලාභ ගෙවීම හේතුවෙන් රුපියල් 250,000 ක් වැඩිපුර ගෙවා තිබුණි.
දේශපාලකයන් තමන්ගේ හෙංචයියන්ට තනතුරු ලබා දීමේදී රටේ නීතිය, සදාචාරය තුට්ටුවකට මායිම් නොකර
කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇත. නිළධාරියෙකු නිත්‍ය රාජකාරියට පරිබාහිරව වෙනත් කාර්යක් සදහා නිදහස් කරන්නේ නම් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.නමුත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබූ සමෘද්ධි නිළධාරියෙකු දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කර තිබුණේ එසේඅනුමැතියකින් තොරවය.අනුමැතිය ලැබෙන්නේ එම නිළධාරියා මාස 06 කට ආසන්න කාලයක් රාජකාරියේ නිරත වෙමින් සිටියදීය.මෙම නිළධාරියා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවිනැගුම සංවර්ධන නිළධාරී තනතුරෙහි පත්වීම් ලිපියේ කොන්දේසි නොසලකා හැර නිළධාරියාට නිත්‍ය තනතුරෙහි රාජකාරියට හිම වැටුපට අමතරව , දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ මාසික සභාපති දීමනාව,ඉන්ධන දීමනාව සමග දුරකථන දීමනාව ද සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්වූ දින සිට අව්ධිමත් පරිදි වැටුප් හා දීමනා වශයෙන් රුපියල් 654,729 ක් ගෙවා තිබුණි .
මේ සියලු වංචා,දූෂණ ,නාස්ති සදහා වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ රටේ අසරණ ජනතාවටය.එබැවින් ජනතාව
දැන්වත් අවදි වී මේවාට විරුද්ධව නැගී සිටිය යුතුමය. එය රටේ මතු පරම්පරාව වෙනුවෙන් ඔබ කරන මහත් කැපවීමකි.
Leave a comment