වගා කටයුතු පහසු කිරීම සදහා ගොවීන්ට ලබා දීමට ගෙනවිත් ඇති යන්ත්‍ර – සූත්‍ර කීපයක් මෙන්ම තවත් මුල්‍යමය වටිනාකමක් ඇති සම්පත් රැසක් පරංගියාවාඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දිරා පත් වෙමින් පවතින බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ ජයරත්න මහතා සදහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ – හොරෙව්පතාන මැතිවරණ කොට්ඨාසයේ පිහිටි පරංගියාවාඩිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ පදිංචි පවුල් 1500 ක පමණ මූලික ජීවෝනපය බවට පත්ව ඇත්තේ ගොවිතැනය.වසර 30 ක පමණ කාලයක් අප රට තුළ පැවති වර්ග වාර්ගික ගැටුම් හේතුවෙන් එකී කාලයත තුළ මෙම ගම්මානයේ ගොවීන්ට තම වගා කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබී ඇත.
නමුත් රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති වීමත් සමග ඔවුන් නැවතත් ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇත.මෙම ගම්මානයේ ජනතාවගේ හදවත බවට පත්ව ඇත්තේ “පරංගියාවාඩිය වැවය”.යාං ඔය සහ එල්ලංගා පද්ධතියේ ඇති වැව් වලින් ලැබෙන වෙල් පහු ජලයෙන් පරංගියාවාඩිය වැව පෝෂණය වන්නේය. මෙම වැව යටතේ පරංගියාවාඩිය,දියතිත්තිකුලම,දෙමටවැව, කිඹුල් පැටියාව, වැත්තාලගම, වෙලංගා උල්පත යන ගම්මාන වල පිරිසක් ගොඩ ගොවිතැන් කටයුතු සිදු කරන අතර,අක්කර 800 ක් පමණ වන කුඹුරු යායක් තවත් පිරිසක් අස්වද්දති.
රජය විසින් ආරම්භ කර ඇති “සුහුරු” වගා ව්‍යාපෘති සංකල්පය අනුව ගොවීන්ට ලබා දීම සදහා ගෙනවිත් ඇති ගොයම් කපන යන්ත්‍ර 02 ක් සහ ගොයම් පැල සිටුවන යන්ත්‍ර 02 ක් වසර 02 ක පමණ කාලයක සිට පරංගියාවාඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දිරා පත් වෙමින් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ ජයරත්න මහතා චෝදනා කරයි.
“භූතයා” නමින් හදුන්වන ගොයම් කපන යන්ත්‍රයක් වර්තමාන වෙළද පළ වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් පමණ
වන්නේය.එමෙන්ම ගොයම් පැල සිටුවන එක් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 19 ක් පමණ වන බව ගොවීන් සදහන් කරයි.ඒ අනුව ගොවීන්ට ලබා නොදී දිරා පත් වන්නට ඉඩ හැර ඇති යන්ත්‍ර – සූත්‍ර වල වර්තමාන වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 218 ක් පමණ වන්නේය. පරංගියාවාඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ අතහැර දමා ඇති ගොයම් පැල සිටුවන යන්ත්‍රයද අපූරු එකකි.එම යන්ත්‍රය භාවිතා කරමින් ගොයම් පැල සිටවීම කළ නොහැකි බව ගොවීන් සදහන් කරයි.මන්ද එම යන්ත්‍රයෙන් පැල සිටුවීම සිදු වන්නේ අඩියක පරතරයක් ඇතිව වන නිසාය. සාමාන්‍ය ආකාරයට අප රට තුළ අඩියක පරතරයකට ගොයම් පැල සිටවීම කොතැනකවත් නොකරණ නිසා මෙම යන්ත්‍ර මිලදී ගැනීම සදහා අනුමත කර ඇත්තේ කව්රුන්ද යන්න ගැටළුවක් බවද ගොවීන් සදහන් කරයි.
එමෙන්ම ගොවීන්ට වගා කටයුතු සදහා ලබා දීමට යැයි පවසා මිලදී ගෙන ඇති මංඤොක්කා සහ බතල දඩු කැබලි රැසක්ද,ප්ලාස්ටික් බට විශාල ප්‍රමාණයක්ද පරංගියාවාඩිය ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිය තුළ ඇති බවක්ද ගොවීන් සදහන් කරයි.මෙම මංඤොක්කා සහ බතල දඩු මිලදී ගැනීම සදහා ගොවිජන සේවා නිලධාරීන් වැය කර ඇත්තේ “සුහුරු” ව්‍යාපෘතිය සදහා රජය විසින් වෙන් කර ඇති මුදල් බවද ජාතික ගොවිජන එකමුතුව චෝදනා කර සිටී.
“පසුගිය අවුරුද්දේ පොහොර ගැටළුව නිසා අපේ ගොවීන් අන්ත අසරණ වුනා. ඒ අතර තමයි මේ වාගේ දේවල් සිද්ධ වෙන්නේ.මේ ආකාරයට රාජ්‍ය දේපල සහ මුදල් විනාශ කරන නිලධාරීන්ට විරුද්ධව කටයුතු කළ යුතු බවට අපි යෝජනා කරනවා.මොකද රජයේ නිලධාරීන්ට මාසයේ අන්තීමෙට ජීවත් වීම සදහා වැටුපක් ලැබෙනවා.නමුත් ගොවියාට එහෙම නෙමෙයි. ගොවියා තම දරු පවුල රැක ගන්න නම් අනිවාර්යෙන්ම ගොවිතැන් කටයුතු කරන්නම ඕනේ…..” යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ ජයරත්න මහතා සදහන් කරයි.
ජාතික ගොවිජන එකමුතුව සහ පරංගියාවාඩිය ගොවීන් විසින් කරණු ලබන චෝදනාවන් සම්බන්ධයෙන් අප අනුරාධපුරය දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් චමින්ද ඒකනායක මහතාගෙන් විමසා සිටියෙමු.”රජය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛණයකට අනුව කිසිදු තොරතුරක් ලබා දීමට අපට හැකියාවක් නැහැ.නමුත් ඔය කරන චෝදනාවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න නම් අපිට පුළුවන්”යැයි හෙතෙම පැවසීය.
සටහන:- ජුඩ් සමන්ත
Leave a comment