කැස්බෑව නගර සභාවේ ඇරැව්වල ආදාහනාගාරයේ ඉදිරිපස මායිම් තාප්පය ඉදිකිරීම සම්බන්ධයෙන් ගිවිසුම් උල්ලංඝනය වන ආකාරයට එහි පාලනාධිකාරිය කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම හේතුවෙන්යා ගැටළු සහගත තත්වයක් ඇති වී තිබේ.
කැස්බෑව නගර සභාවට අයත් ඇරැව්වල ආදාහනාගාරයේ ඉදිරිපස මායිම් තාප්පය ඉදිකිරීම සඳහා අදියර තුනක් යටතේ කැස්බෑව නගර සභා පොදු අරමුදලින් රුපියල් පනස් නව ලක්ෂ අනු නව දහස් නවසිය තුනක මුදලක් අනුමත කර ගෙන පළමුවන සහ දෙවන අදියරයන් සදහා බටහිර ඇරව්වල ශක්ති ප්‍රජා මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව ඇත.
නමුදු අදාළ කොන්ත්‍රාත් සමිතිය ගිවිසුම් ප්‍රකාරව එහි සියලු වැඩ අවසන් නොකර කරන ලද වැඩ සදහා යැයි පවසමින් මුදල් ඉල්ලා සිටින අතර අදාළ ගෙවීම් සිදු කිරීමට කැස්බෑව නගර සභා පාලන අධිකාරිය කටයුතු කිරීමට පියවර ගැනීමේදී ගැටළු සහගත තත්වයක් ඇති වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
මෙම ඉදිකිරීමට අදාළ ව පලවන අදියරෙහි ඇස්තමේන්තුවේ සඳහන් වැඩ 10 න් මුල් වැඩ 7 හි වැඩ අවසන් කර,වැඩි වටිනාකමකින් යුත් අවසන් වැඩ 3ම පැහැර හැර නිම කරන ලද කොටස් හතකට අදාළව රුපියල් 750,744.36 ක් වූ මුදලක් අදාල සමිතිය විසින් ඉල්ලා සිටී.
තවද අදාළ ඉදිකිරීමේදී කිසිදු ප්‍රමිතියකින් තොරව මෙම මායිම් තාප්පයේ ඉදිකිරීම සිදුකර ඇති බවට එම නාගරික මන්ත්‍රී වරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව තාක්ෂණික නිලධාරිවරයා විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රමිති පරීක්ෂාවේ දී අදාළ බැම්මේ ලින්ටලය සඳහා යොදා ගත යුතුව තිබූ 10 mm කම්බි වෙනුවට 8 mm කම්බි යොදා ගෙන ඇති බවත්, ඉදිකර ඇති ලින්ටලයේ ඝනකම අඟල් හතරක් ලෙස ඇස්තමේන්තුවේ සඳහන්ව ඇති නමුත් අඟල් තුනක ප්‍රමාණයට ලින්ටලයේ ඝනකම යොදා ඇති බවත් නිරීක්ෂණය වී ඇත.
තවද තාක්ෂණික නිලධාරීන් ඉදි කිරීම් සිදු කරන ලද භූමියේ තිබූ ගල් කුඩු පිළිබදව විමසීමේදී එම ගල් කුඩු බැම්ම බැදීම සදහා වැලි සමග මිශ්‍ර කිරීමට රැගෙන ආ බවට අනාවරණය වී ඇත.ඒ අනුව ගල් කුඩු යොදා ඉදිකිරීම් කටයුතු සිදු කිරීම වහාම නවතා දමන ලෙසට තාක්ෂණික නිලධාරිවරයා නිර්දේශ කර ඇත.
ගිවිසුමට අනුව සියලුම ඉදිකිරීම් කටයුතු කර විය යුත්තේ නගර සභාව සතුටුදායක යැයි ඒත්තු යන ඒ ඒ වර්ග වල හොඳම දව්‍ය වලින් වන අතර ඉදිකිරීම සම්බන්ධයෙන් වූ ඕනෑම කාර්යයක් සඳහා පාවිච්චි කරන නොයෙකුත් වර්ග වල ද්‍රව්‍ය පිළිබඳ තත්ත්වය හැම අවස්ථාවකදීම තීරණය කිරීමේ බලය නගර සභාව සතු වූ අතර නගර සභාව අනුමත නොකරන ලද කිසිදු ද්‍රව්‍යයක් පාවිච්චි නොකිරීමට කොන්ත්‍රාත්කරු වග බලා ගත යුතුව තිබිණි.
තත්වය එසේ තිබියදී භාවිතයට නුසුදුසු බාල ද්‍රව්‍ය යොදා ගනිමින් වඩාත් වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම මායිම් තාප්පය ඉදි කරන ලද්දේ කාගේ වුවමනාවට දැයි විමසා බැලීම වටී.
එකී ඉදිකිරීම් සඳහා යම් ආකාරයකින් ප්‍රමිතියෙන් තොර බාල වූ ද්‍රව්‍ය යොදා ඇති බවට නගර සභාවෙන් ලියවිල්ලකින් කොන්ත්‍රාත්කරුට දන්වා යැවූ විට ගිවිසුම් ප්‍රකාරව කොන්ත්‍රාත්කරු විසින් එබදු ද්‍රව්‍ය එම ඉදිකිරීමෙන් ගලවා ඉවත්කර කොන්ත්‍රාත්කරු ගේ හුදු වියදමින් නගර සභාව සෑහීමට පත් වන අන්දමට සුදුසු ද්‍රව්‍ය දමා ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කළ යුතුය.තත්වය එසේ වුවද මේ වන තෙක් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට අනාවරණය වේ.
නගර සභා පොදු අරමුදල් යනු ජනතාවගේ බදු මුදල්ය. ප්‍රමිතියකින් තොරව මායිම් තාප්පයක් නිසි කාල වකවානුව තුල ඉදි නොකර ගිවිසුම් උල්ලංඝනය වන පරිදි කටයුතු කර තිබියදී අදාළ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීම පරිදි මුදල් ගෙවීමට කැස්බෑව නගර සභාවේ පාලනාධිකාරිය කටයුතු කිරීමට සැරසීම විමතිය දක්වන්නාක් බවත් හිතුමනාපෙට නගර සභා පොදු අරමුදලින් මෙලෙස වියදම් කරන මුදල් නගර සභා සභාපතිවරයා ගේ හෝමන්ත්රීවරුන් ගේ පුද්ගලික මුදල් නොවන හෙයින් එම ජනතා බදු මුදල් නාස්ති වීම වැළැක්වීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කටයුතු කරන බවට නාගරික මන්ත්‍රී චාමර මද්දුමකළුගේ මහතා වැඩි දුරටත් පවසා සිටි.
දිලංගා ගෝමස් – බස්නාහිර පළාත
Leave a comment