ගමනක් යන්න උවමනා වුනොත් අපි ඒ ගමන යන්නේ කොහොමද? තමන්ගේම වාහනයක් තියෙනවා නම්, එය භාවිතා කිරීමට අප හුරු වී සිටියි. ඒත් පුද්ගලික වාහන නැති අය? එවිට පොදු වාහනයක් භාවිතා කිරීම සුලභව දක්නට ලැබෙන සිදුවීමකි.
ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස බස් රථ දක්නට ලැබෙන්නේ අන්න ඒ නිසාවෙනි. අප සෑම දෙනෙකුගේම එදිනෙදා ගමන් බිමන්, රාජකාරි ගමන්, පුද්ගලික ගමන් බිමන් ආදී සෑම කටයුත්තකටම බස් රථ වලින් ඉටුකෙරෙන මෙහෙය සුළු පටු නොමැති බව බසයේ යන නොයෙන සියළුදෙනා දන්නා කරුණකි. එක අතකින් බලන විට රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව එම රටේ සංවර්ධනය මනින සාධකයක් ලෙසත් අපට හදුන්වාදීමට හැකි වේ.
1956 දි එවකට පවතී රජය, පොදු ප්‍රවාහන සේවය ජනසතු කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ගෙවත් “ලංගම” ආරම්භ කරමින් රාජ්‍ය මට්ටමින් පොදු ප්‍රවාහන සේවයට දායක විය. හරියටම කියනවා නම්, “ලංගම” ආරම්භ කෙරෙන්නේ 1958 ජනවාරි පළමුවෙනිදා සිටයි. 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මගින් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කිරීමෙන් ‘ලංගමය‘ පිහිටුවීමත් සමග ආසියාවේ බස් ගමනාගමනය ජනසතු කළ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එකතු විය.
පොදු මගී ජනතාවගේ ගමනාගමන පහසුව උදෙසා නගර සහ ප්‍රධාන තදාසන්න ප්‍රදේශවල බස් නැවතුම් ඉදිකර තිබීම දක්නට ලැබෙන සුලභ සිදු වීමකි. ඊට අමතරව ගම්මාන මට්ටමින්ද සෑම ගම්මානයකම පාහේ බස්රථ නැවැත්වීමට සහ මගීන්ට රැඳී සිටීමට බස් නැවතුම් ඉදිකරයි.
ලුණුගම්වෙහෙර නගරය යනු ඔබ කවුරුත් හඳුනන කතරගම පුරවරයට ආසන්නතම නගරයකි. කොළඹ -වැල්ලවාය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා මොණරාගල දිස්ත්‍රික්කයට ගමන් ගන්නා සියලුම බස් රථ පාහේ ලුණුගම්වෙහෙර බස් නැවතුම හරහා ගමන් ගනී. ලුණුගම්වෙහෙර බස් නැවතුම මීට පෙර කලකදී සාමාන්‍ය බස් නැවතුමක් ලෙස මගී ජනතාවට සැලකිය යුතු පහසුකම් රහිතව සාමාන්‍ය ශාලාවක් ලෙසින් පැවතුණි.
නමුත් පසු කාලීනව එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීමෙන් පොදු ගමනාගමන සේවා මගින් දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගනු ලබන ජනතාව වෙනුවෙන් ඉහළ ප්‍රමුඛතාවක් හිමිකර දෙමින් යැයි සඳහන් කරමින් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉතා නවීන සහ නව බස්නැවතුම් පොළක් ගම් වෙහෙර ජනතාව සඳහා ඉදිකර දෙන බව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මැතිතුමා සහ නිවාස හා සමූර්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදස මැතිතුමා සහභාගී වෙමින් 2015 වර්ෂයේ මැයි මස 29 වැනි දින ඒ සඳහා මුල්ගල තබන ලදි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ සැමට සහන වැඩසටහනට සමගාමීව වැව දාගැබ කොත යා කරමින් ජන ප්‍රජාවගේ ආර්ථිකය හා සමාජ සම්බන්ධතා පුළුල් කරමින් ජීවනෝපාය මාර්ග අධ්‍යාපනික,ආර්ථික ,සංස්කෘතික හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර අතර ධනාත්මක සබැඳියාවක් ඇති කිරීම මෙන්ම ගමනාගමනය හා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමේ අදහස පෙරදැරිව රුපියල් ලක්ෂ 372 රජයේ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර නාගරික බස් නැවතුම්පොළ ඉදිකරන ලදී.එමෙන්ම එය වර්ෂ 2019 අගෝස්තු මස 15 වන දින බ්‍රහස්පතින්දා ප්‍රජා අයිතියට පත් කරන ලදී.
නමුත් කණගාටුවට කරුණක් වන්නේ මේ වන විට එම නවීන බස් නැවතුම්පොළ හුදකලා ව වල් බිහි වී පැවතීමයි. ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ උත්සවය ආකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මසක් පමණ කාලයක් තිස්සමහාරාම බස් නැවතුම් පොළෙහි නිලධාරීවරයෙකු මෙම බස් නැවතුම් පොළෙහි රාජකාරි කළ බවත් ඔහු එම බස් නැවතුමේ නතර නොකරන්නා වූ බස් රථ සඳහා දඩයක් නියම කර නිසා බස් රථ සියල්ලක්ම මෙම බස් නැවතුමේ නතර කර නැවත තමන්ගේ ගමනාන්තය වෙත ළඟාවූ බවයි. නමුත් ඉන් අනතුරුව ඔහු තිස්සමහාරාම බස් නැවතුම් පොළෙහි රාජකාරිය පමණක් සිදුකර නිසාත් මෙම බස් නැවතුමට විටින් විට යාම ඒම පමණක් තිබූ බවත් එම නිසා බස්රථ මෙම නවීන බස් නැවතුම වෙනුවට නැවතත් සුපුරුදු පැරණි බස් නැවතුම් පොළෙහි තමන්ගේ බස්රථ නැවතීම සිදුකරන බවයි.
මේ පිළිබඳව හේතුව කුමක්දැයි අපි ඔවුන්ගෙන් අදහස් විමසීමක් සිදු කළ විට ඔවුන් අප වෙත සඳහන් කළේ මෙම බස් නැවතුම්පොළ ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඉදි කර ඇති අතර බස් නැවතුම්පොළට ආසන්නයේ පවතින ප්‍රධාන මාර්ගයේ දිත්ව ඉරි පවතින නිසා බස්රථ එය හරහා ගොස් බස් නැවතුමේ නොනවත්වන බවයි. පෙරදී බස් රථ දෙකක් හැපීම නිසා සිදු වූ දැවැන්ත අනතුරකදී එය විමර්ශනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ එක්සැමිනර් වරයා සඳහන් කර ඇත්තේ මෙම දිත්ව ඉරි කපා බස් රථ ගමන් කිරීමේදී ඒ සඳහා දඩයක් ලබාදීමට කටයුතු කරන බවයි.මාර්ගය හරහා බස් රථය බස් නැවතුම්පොළට යෙදීමට නම් අනිවාර්යෙන්ම මෙම දිත්ඉරි කැපීමට රියදුරන්ට සිදුවෙයි. විශේෂයෙන්ම වංගු සහිත මාර්ගයක් නිසා මෙම බස් නැවතුම්පොළ ආසන්නයේ ම පොලිස් නිලධාරීන් නිරන්තරයෙන්ම දක්නට ලැබේ. මේ හේතුව නිසා බස්රථ මෙම බස් නැවතුම්පළට නොඑන බව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් අප සමඟ පැවසීය.
තවද ඔවුන් සඳහන් කළේ මෙම බස් නැවතුම්පොළට යාබදව වාරිමාර්ග කාර්යාලය කඩා ඉවත් කර මෙම වංගු සහිත මාර්ගය සෘජුව සාදා මගීන්ගේ සහ ගමන් ගන්නා මාර්ගයේ පහසුව සැලසීම ට කටයුතු සැලසුම් කර ද එලෙස සිතා මෙම බස් නැවතුම ඉදි කරද එය ව්‍යාප්ත වූ බවයි.
තවද මේ බස් නැවතුම්පොළට ඉදිරිපස ඇති කඩසාප්පු ඔස්සේ අපි විමසීමක් සිදු කරේ ඔවුන් මේ පිළිබඳව දක්වන අදහස කුමක් ද යන්න විමසීමටය. එම ව්‍යාපාරික ස්ථාන අවුරුදු දහයක් තිස්සේ එම ස්ථානයේ පවත්වාගෙන එන ව්‍යාපාර වේ. ඔවුන් සඳහන් කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන සඳහා පැමිණෙන පිරිස් පවා තේ පානය කිරීම සඳහා පැරණි බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කඩ වෙත ගමන් කරන බවයි. ඔවුන් සඳහන් කරන්නේ එම පරණ බස් නැවතුම් පොළෙහි ඇති කඩ හිමියන් සඳහා මෙම නව බස් නැවතුම්පොලේ කඩ කාමර ඉදි කර දෙමින් ප්‍රදේශවාසීන් සහ ගම්වාසින් සහ ජනතාව ගැවසෙන ලෙස මෙම බස් නැවතුම සැලසුම් කළා නම් මෙය වන විටත් මෙම බස් නැවතුම්පොළ සඳහා විශාල සෙනගක් ඇදී යන බවයි.නමුත් කිසිදු පූර්ව සැලැස්මකින් තොරව මෙම නවීන බස් නැවතුම්පොළ ඉදිකර බව ඔවුන්ගේ අදහසයි. තවද කුමන ආණ්ඩුවකින් ඉදිකර ද ඊළගට පැමිණෙන ආණ්ඩුව එම පැරණි ආණ්ඩුවේ ඉදිකරන ලද සියලුම දේවල් නොසලකා හරිමින් ඔවුන්ගේ කටයුතු සිදු කරන නිසා මේ වන විටත් කිසිවෙකුගේ අවධානය මෙම බස් නැවතුම්පොළට යොමු නොවන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. නිසි ප්‍රතිපත්තියක් රටේ තිබුණා නම් එය එසේ නොවන බව ඹවුන්ගේ අදහසයි.
කවද ප්‍රදේශවාසීන් සඳහන් කළේ දකුණු පළාත් සභාවේ නිලධාරීන් මෙය විමර්ශනය කිරීම සඳහා විටින් විට පැමිණෙන බවත් එම පැමිණෙන වෙලාවට හැකි ඉක්මනින් මෙම බස් නැවතුම්පොළ නැවතත් පිරිසුදු කර ඔවුන්ට පෙන්වීමට කටයුතු සූදානම් කරන බවත් එවිට තිස්සමහාරාම බස් නැවතුම් පොළෙහි නිලධාරිවරයා නැවතත් මෙම බස් නැවතුම් පොළට පැමිණෙන බවත්ය. නමුත් එය අඛණ්ඩව සිදු නොවන නිසා මෙම නවීන බස් නැවතුම්පොළ වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ හුදකලාව ජරා ජීර්න වෙමින් පරවියන්ගෙ සහ අයාලේ යන සුනඛයන් ගේ නවාතැනක් බවට පත්වෙමින් රාත්‍රී කාලයේදීත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ තෝතැන්න බවට ද පත්වන බවයි. මෙය නිරීක්ෂණය කළ අපට ද දැක ගැනීමට හැකි වූයේ නවීන සීසීටීවී පද්ධතියක් එම බස් බස් නැවතුම්පොළේ පැවතිය ද එහි අභ්‍යන්තරයේ ඇති පරිපාලන ඒකකය සතුන්ගේ බලපෑම් නිසා කැඩී බිඳී ඇති බවයි ඒ වගේම සෑම තැනකම පාහේ පරවියන්ගේ වසුරු සහ අයාලේ යන සුනඛයින්ගේ වසුරුවලින් බස් නැවතුම්පොළ පිරි ඇති බවයි.
මෙහිදී ප්‍රදේශවාසීන් මේ සඳහා විසඳුම් ද යෝජනා කරන ලදී. ඔවුන් පවසා සිටියේ මෙම මාර්ගයේ ඇති දිත්ව ඉරි ඉවත්කර තනි ඉර නිර්මාණය කරමින් මාර්ගයේ ඉඩ සලසා දීමට හැකි නම් මෙයට නැවතත් බස්රථ ධාවනය වෙන බවයි. මෙම බස් නැවතුම්පොළ ඉතාමත් නවීන ලෙස සාදා ඇති නිසා මෙයට යාබදව ඇති හිස් ඉඩකඩෙහි කඩ කාමර කිහිපයක් සාදා දී ඒ සඳහා වෙළෙඳ ප්‍රජාව සහභාගි කරවීම තුළින් එම වෙළඳ සැල් සඳහා හෝ ප්‍රදේශවාසීන් සහ ජනතාව පැමිණෙන ලෙස මෙය ජනාකීර්ණ කර නැවතත් බස් රථ මෙය සඳහා පැමිණෙන බවයි. තව ද විටින් විට පැමිණෙන නිලධාරීන් වෙනුවට නියමිත නිලධාරිවරයෙක් මෙම බස් නැවතුම්පොළේ නවතා ඔහුගේ මාර්ගයෙන් මෙම බස් නැවතුමෙහි නො නවත්වා ධාවනය වන බස් රථ සඳහා යම් දඩයක් පැමිණවීමට හැකි නම් මේ බස් නැවතුම්පොළට නැවතත් බස්රථ ධාවනය වන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. කෙසේ වෙතත් මෙසේ හුදකලා විය අභාවයට යන්නේ පොදු මහජනතාවගේ රුපියල් ලක්ෂ 372 බදු මුදලින් ඉදිවූ බස් නැවතුම්පොළක් බව අප සිහි තබා ගත යුතු වේ. එලෙස මහජන මුදල් අවභාවිතා කිරීමට කිසිවකුටවත් අයිතියක් තිබේද? පූර්ව සැලසුමකින් තොරව නිසි සැලසුමක් යටතේ මෙවැනි ඉදිකිරීම් කිරීම තුලින් විනාශ වී යන්නේ මහජනතාවගේ බදු මුදල් නොවේද? මෙම බදු මුදල් සඳහා වගවීමක් කවුරුන් විසින් භාර ගන්නේ ද?.
Leave a comment