ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙන මොහොතක රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙත වඩාත කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීම සිදු කළ යුතු සමයක දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් ජනතා බදු මුදල් අවභාවිතා කිරීමක් වාර්තා වේ.
එවැනි අනවශ්‍ය වියදම් ලෙස සැලකිය හැකි සියළුම වියදම් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව විවෘත කිරීම් ඇතුළු අනවශ්‍ය හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවීම සහ ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකරන ලෙසට විධි විධාන නිකුත් කර තිබුණද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පසුගිය මාර්තු මස 11 වන දින පැවති ජයසිංහ ක්‍රිඩාංගනය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් යැයි පවසමින් රුපියල් එකොළොස් ලක්ෂයකට වඩා අධික මුදලක් වියදම් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් මුදල් කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුවේ දී සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
මෙලෙස ජයසිංහ ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් සිය දෙනෙකු සඳහාත් උත්සවයට පැමිණි තවත් තුන්සියය දෙනකු සඳහා උදෑසන කෙටි ආහාර වෙනුවෙන් යැයි පවසමින් රුපියල් තුන්ලක්ෂ පහළොස් දහසක් වැය කර ඇත.
තවද ගල්කිස්ස ප්‍රදේශයේ මහා හෝටලයකින් විශේෂ අමුත්තන් සියයක් වෙනුවෙන් ජයසිංහ ක්‍රිඩාංගනය වෙත ආහාර රැගෙන ඒමට ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 15,000ක මුදලක් වැය කොට ඇත. කෙටි ආහාර ඇනවුම් කර තිබූ හෝටලයේ සිට අදාළ උත්සවය පැවති භූමිය වෙත ඇත්තේ කිලෝමීටර් 4 ක් පමණ වන කුඩා දුරක් වන අතර ඒ සඳහා රුපියල් පහළොස් දහසක මුදලක් වැය කිරීම ජනතා බදු මුදල් අවභාවිතා කිරීමක් බවට මන්ත්‍රීවරුන් චෝදනා කරති.
තවද ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා පමණක් එක් ලක්ෂ හතළිස් තුන් දහසකට අධික මුදලක් වැය කර ඇති අතර උත්සවය ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති ෆ්ලෙක්ස් බැනර් සඳහා පමණක් රුපියල් අනූනවදහසක් වැය කර ඇත.
උත්සවයේ මල් සැරසිලි, පොල්තෙල් පහන හා වෙනත් වියදම්, තිරරෙදි උත්සව සංවිධාන කටයුතු සහ ආහාර , සිසිල් බීම වෙනුවෙන් ලබාගත් අත්තිකාරම් මුදල් පියවීම සඳහා තවත් රුපියල් අනූ හත්කදහසකට අධික මුදලක් වැයකර ඇත.
මේ සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසීමේදී මෙම ක්‍රීඩාංගනය ආදායම් ඉපැයීමේ පරමාර්ථයෙන් ඉදි කරන ලද බවත් ඒ සඳහා අවශ්‍ය ජනතා අවධානය යොමු කරවීම පිණිස මෙවැනි උත්සවයක් සංවිධානය කල බව හෙතෙම පැවසීය.
පවත්නා අභියෝගකාරී තත්වය හමුවේ රජය සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතනයන් විසින් අනවශ්‍ය වියදම් ලෙස සැලකිය හැකි සියළුම වියදම් අත්හිටුවා ඇතැයි පැවසුවද මතුවී තිබෙන දුෂ්කර අවස්ථාවේ දී මහජන සුබ සිද්ධිය සඳහා මහජන බදු මුදල් යොදනු වෙනුවට රාජ්‍ය නිලධාරීන් වශයෙන් පැවරී ඇති වගකීම් මනාව ඉටු නොකර ජනතා බදු මුදලින් අනවශ්‍ය වියදම් සිදු කරනුයේ බොර දියේ මාළු බෑමට විය හැකි බවට මන්ත්‍රීවරුන් සැක පළ කරයි.
සටහන හා ඡායාරූප: දිලංගා ගෝමස් – කොළඹ
Leave a comment