තණමල්විල වැල්ලවාය මාර්ගයේ සිට සූරියවැව දෙසට පැමිණෙන විට ඔබට මහගල්වැව ධීවර ගම්මානය හමුවෙයි. මෙම ගම්මානය තුළ ගොවිජනතාව වැඩි පිරිසක් ජීවත්වන අතර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සිදු කරන ගම්මානයක් ලෙසින් මෙය සූරියවැව ප්‍රදේශයේ ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත්ව පවතී. ගැමි පරිසරයකට උරුමකම් කියන සූරියවැව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. ඊට අමතරව වගා කටයුතු සහ කෘෂිකර්මාන්තයට සහ ගොඩ ගොවිතැනට අනුබද්ධිත විශාල කර්මාන්ත ගණනාවකින් මෙම පුරවරය සමන්විත වෙයි.
බොහෝ වේලාවට වගා කටයුතු කරමින් එම වගා අස්වැන්න ජනතාවට අලෙවි කරමින් තමන්ගේ ජීවනෝපාය සිදුකර ගනියි. සාමාන්‍යයෙන් මහජනතාවට මෙම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා සූරියවැව හෝ දාහතර කණුව ප්‍රදේශයේ මහජන පොළ වෙත ගමන් කළ යුතුය. එසේ ගමන් කිරීමට එම මහජන පොල ද්විත්වයටම කිලෝ මීටර් 15 ක පමණ දුරක් මෙම ගොවි ජනතාව ගමන් කළ යුතුයි. නමුත් ගොවි ජනතාවට පවතින්නාවූ ආර්ථික සහ ප්‍රවාහන අපහසුතාවයන් නිසා බොහෝ වෙලාවට දේශපාලන නියෝජිතයින්ගේ පොරොන්දුව වුයේ මහජන පොළක් බවයි මහජනතාව අප සමග පවසන ලදි.
ඒ අනුව තණමල්විල සිට සූරියවැව දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ ධීවර ගම්මානය අසල මෙම මහජන පොළ ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇත්තේ 2015 වර්ෂයේදී ය. ඒ එවකට දකුණු පළාත් සභාවෙන් වෙන්වූ මුදල් ප්‍රතිපාදන මගිනි.
නමුත් අද වන විට එම මහජන පොළ සඳහා ඉදිකර ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්වී ඇති අතර එයට වෙන්වූ භූමියද සමහර ජනතාවගේ ග්‍රහණයට ලක් වෙමින් වගා භූමිය බවට පත්වන ආකාරයත් අපට එහි ගිය විගස දක්නට ලැබිණි. ගොඩනැගිල්ල සඳහා ඉදිකර තිබූ වහලය ද මේ වන විට සතුන්ගේ ග්‍රහණයට ලක් වෙමින් කැඩී බිඳී ගිය ඇති ආකාරයක් දක්නට ලැබෙයි. එමෙන්ම ගොඩනැගිල්ලේ බිම ද නිසි ආකාරයෙන් සකස් නොකළ නිසා වනසතුන්ගේ කෙළිබිමක් බවට එය පත්ව තිබේ. ගොඩනැගිල්ල සඳහා ඉදිකර කණු ද ක්‍රමයෙන් ක්‍රමය දිරාපත්වෙමින් ගොඩනැගිල්ලේ සවිමත් භාවය සම්පූර්ණයෙන්ම නැතිවී යන ආකාරයක් එහි ගිය අපට දිස්විය.
කෙසේ වෙතත් ප්‍රධාන මාර්ගයට ආසන්නයේම එම පොළ භූමිය පැවතිය ද මේ වන විට මනුස්සයෙකුට ගමන් කළ නොහැකි ආකාරයට විශාල වන ලැහැබකින් මුළු පොළ භූමිය ම ආවරණය වී තිබෙන ආකාරය අපට දස් වූ යේ ඉතාමත් කණගාටුදායක ලෙසිනි. මේ පිළිබඳව මහජනතාව ගෙන් විමසීමක් සිදු කළ විටදී මහජනතාව අප සමග සඳහන් කළේ ගම්වාසීන් වන ඔවුන්ට සූරියවැව පොළට හෝ දාහතර කණුව පොළට යාමට කිලෝමීටර් කිලෝ මීටර් 15 ක දුරක් ගමන් කළ යුතු බවයි. 2015 වර්ෂයේ දී පමණ මෙම පොළ භූමිය නිර්මාණය කරන්නට ආරම්භ කර ද මේ වන තෙක් එහි වැඩකටයුතු නිමා වී නොමැති බවයි. දුර බැහැර ප්‍රදේශයන්ගේ සිට කොළඹ දෙසට එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරන රථ තණමල්විල සහ වැල්ලවාය මාර්ගයේ හරහා සූරියවැවට පැමිණෙන්නේ මෙම මාර්ගය බවයී. මෙම පොළ භූමිය ඉදි වී තිබුණා නම් සූරියවැව ප්‍රදේශය වෙත නොයා ගොවි ජනතාවට තම අස්වැන්න විකිණීමේ හැකියාවක් පවතින බවයි.තවද දුර බැහැර සිට පැමිණෙන එළවළු සහ පළතුරු කොළඹ ප්‍රදේශය ට ප්‍රවාහනය කරන ලොරි රථ මෙම පොළ භූමිය හරහා භාණ්ඩ මිලදී ගන්නා බවයි. ඔවුන් සදහන් කරනුයේ ඔවුන්ගේ ප්‍රවාහන වියදම ද ලොරි රථ සඳහා වැයවන ප්‍රවාහන වියදම ද මෙම පොළ භූමිය නිර්මාණය කිරීම තුළින් ඉතුරු වන බවයි.
කණගාටුවට කරුණක් වන්නෙ මෙම පොළ භූමිය ඉදිකිරීම සඳහා වෙන් වූ මහජන මුදල් සම්පාදනය කර තිබෙන්නේ දකුණු පළාත් සභාවේ වැය ශීර්ෂ යටතේ ය. වියදම් කර ඇති මුදල් මහජන බදු මුදල් ය. මෙසේ දිරාපත්වෙමින් වියදම් වන මහජන බදු මුදලට දකුණු පළාත් සභාව වගකිව යුතු නොවේද?. මේ මහජන බදු මුදල් සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම මීට වඩා තිබිය යුතු නොවේද?. මහජනතාවගේ ඉල්ලීම වූයේ “අනේ මහත්තයෝ කොහොම හරි මේ පොළ හදලා දුන්නොත් ලොකු දෙයක්” යන ඉල්ලීම ය. තමන් රජයට බදු ගෙවමින් ඒ බදු මුදල් තමන්ගේ ඇස් ඉදිරියේ නාස්ති වෙමින් පවතින යුගයක, මහජනතාව නැවතත් ඉල්ලීම් කරන්නේ ද තමන්ට අවශ්‍ය කරන්නා වූ මූලික පහසුකම් ටික තමන්ගේ බදු මුදලින් සලසා දෙන ලෙසයි.
Leave a comment