By Kosala Gunawardana
පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුලදී ලොව සියළු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යාමාන ලෙසින් උන්නතියට පත්ව ඇත.කෙසේවෙතත්, සමහරක් නිරීක්ෂකයන් නිමානය කර ඇත්තේ 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජල-ආශ්‍රිත අන්තරාදායකයන්ට මුහුණ දෙනු ඇති බවයි. 2009 නොවැම්බර් වාර්තාවක් අඟවනුයේ 2030 වන විට, ලොව සමහරක් දියුණු වෙමින් පවතින පලාත් වල, ජල ඉල්ලුම සැපයුමට වඩා 50% අභිබවන බවයි. ජලය විසින් ලෝක ආර්ථිකයෙහි වැදගත් කාර්යභාරයක් ඉෂ්ඨ කරනුයේ, එය පුළුල් පරාසයක රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන හෙයින් හා කාර්මික සිසිලනය හා ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නකු වීම හෙයිනි. මිරිදිය ප්‍රමාණයෙන් දළ වශයෙන් 70% පමණ කෘෂිකර්මය සඳහා භාවිතා කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයට සහ සූරියවැව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයට මායිම්ව පිහිටා ඇති මෙම ග්‍රාමය නමින් දිමුතු ගමයි. කලෙක පටන් නිසි ලෙස පානීය ජලය ලැබීම පිළිබඳව දැඩි අවශ්‍යතාවයක් මෙම ගමිමායට මතුව තිබේ. කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන මෙවුන් අලි උවදුර නිසා ද දැඩි සේ පීඩාවට පත් වන ප්‍රදේශයකි. දැඩි ශුෂ්ක පරිසරයක ට හිමිකම් කියන දිමුතු මම ග්‍රාමයේ ග්‍රාමීය ජල අවශ්‍යතාවය බොහෝවිට සවිකරනුයේ මල් ආර ජලාශයෙන් පැමිණෙන්නා වූ ඇළ මාර්ග හරහා වේ. එයට හේතුව වී ඇත්තේ ක්‍රමානුකූල ජල සැපයුමක් මේ වන තෙක් දිමුතු ගම ග්‍රාමයට නොලැබී තිබීමයි.
දැනට වසර දහසයක් පමණ තිස්සේ මෙම ග්‍රාමය සඳහා පානීය ජලය නොලැබෙයි. මීට පෙර ප්‍රජා ජල ව්‍යාපෘතියක් එම ගමෙහි ජේෂ්ඨ පුරවැසියන් විසින් නිර්මාණය කර එය නිසි ආකාරයෙන් පවත්වාගෙන ගියද, පසුව එම ජල මධ්‍යස්ථානය සඳහා බිල්පත් ගෙවීමට පත්කළ නිලධාරීගේ සිදු වූ යම් අක්‍රමිකතාවයක් නිසාවෙන් එම ප්‍රජා ජල ව්‍යාපෘතියද මග නැවතු බව ප්‍රදේශවාසීහු පැවසීහ.
පවුල් 75ක් දැනට මෙම ග්‍රාමය තුළ ජීවත් වේ. ඇළ මාර්ගයෙන් පහළ කොටසට නළ ජලය ලැබුන ද, නළ ජලය මාර්ගයෙන් ඉහළ කොටසට ලබා ගැනීම අපහසු වී ඇත. එයට හේතුව ඇළ මාර්ගය හරහා ජලය ගැනීමට නොහැකි බවත්, එම කොටසට නළ ජලය ප්‍රධාන මාර්ගයේ සිට ගත යුතු බවත්, එම ප්‍රදේශවාසීන් සඳහන් කරන ලදි. එම කාර්යය සඳහා විශාල මුදලක් වැය වන නිසා එය තවමත් ප්‍රමාද බව අදාල නිලධාරීන් ප්‍රදේශවාසීන් වෙත දැනුම් දුන් බව බවද ඔවුන් අප වෙත පවසන ලදි.
කෙසේ වෙතත් සතියකට එක් දිනක් පමණක් හම්බන්තොට ප්‍රාදේශීය සභාව හරහා මොවුනට බවුසර් මගින් පානීය ජලය රැගෙන එයි. එහිදී එක් නිවසකට ලීටර් 150 / 200 ක් වැනි ප්‍රමාණයක ජලය ලබා දීමක් සිදු කරයි. නමුත් යම්කිසි සහනදායී සහ මානුෂීය ලෙස සලකා බලමින් එයට එහා යමින් වැඩි ප්‍රමාණයක්ද ප්‍රදේශවාසීන් වෙත ප්‍රාදේශීය සභාව හරහා ලබාදෙන බවයි ඔවුන් අප සමග පවසන ලදි.
නමුත් මෙලෙස බවුසර් හරහා ලබාදෙන ජලයේ යම් කිසි අවස්ථාවන් වල දී ගුණාත්මක භාවයේ අඩුවක්ද, කිවුල ගතිය සහ මඩ සහිත වතුර ද මොවුන්ට ලැබෙන බවයි ඔවුන්ගේ අදහස.
මේ කාරණාව පිළිබඳව හම්බන්තොට ප්‍රාදේශීය සභාවෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා සිදුකරන ලද ඉල්ලීමක දී ඔවුන් පවසන ලද්දේ, එම ග්‍රාමය ඔවුන්ට අයත් එලල්ල වසමට අදාළව පිහිටා ඇති බවයි. මෙම ග්‍රාමයට අදාළව සිදු වූ ප්‍රජා ජල ව්‍යාපෘතියේ වර්තමාන තත්වය හෝ එම ව්‍යාපෘතිය නැවතීමට හේතු කාරණා ප්‍රාදේශීය සභාව නොදන්නා බවයි.
වසර දහසයක් මුළුල්ලේ පානීය ජලය නොමැති දිමුතු ගම සඳහා ආසන්න වසර 10 තුළ පානීය ජලය බවුසර මගින් ලබාදීමට ප්‍රාදේශීය සභාව විසින් දරා ඇති වියදම පිළිබඳව අප තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලීම් කරන ලදී. ඒ සඳහා ආසන්න වසර දහය වෙනුවෙන් ජලය සඳහා රුපියල් 845438.00 ක මුදලක් ද , වසර දහය සඳහා දිමුතු ගම වෙනුවෙන් ජලය බෙදීමට ඉන්ධන සඳහා රුපියල් 3633816.00 ක මුදලක් ද වැය වී ඇති බව ඔවුන් සදහන් කර ඇත.
ඒ අනුව හම්බන්තොට ප්‍රාදේශීය සභාව විසින් ආසන්න වසර දහය සඳහා දිමුතුගම ප්‍රදේශයට ජලය ලබා දීමේ දී දරා ඇති මුලු වියදම රුපියල් 4479254.00 කි.
රජය සතු මුදල් යනු රජයේ භාණ්ඩාගාරය විසින් මහජනතාවගෙන් එකතු කරගන්නවා වූ බදු මුදල් වේ. වසර 10 තුළ දිමුතු ගම සඳහා ජලය ලබා දීම වෙනුවෙන් ලක්ෂ 44 ක මුදලක් රජයේ බදු මුදල් ලෙස වියදම් වී ඇත. සභාවෙන් කළ විමසීමකදී පානීය නළ ජලය ලබා දීම ඔවුන්ගේ කර්තව්‍යයක් නොවන නිසා නිසි ලෙස මොවුන්ට පානීය ජලය ලබා දීමක් කෙදිනක සිදුවේද යන්න ගැටළුවට විසඳුමක් ඔවුන් සතුව නොපවතින බවත් බවුසරයේ හරහා ජලය ලබාදීම ඔවුන් අඛණ්ඩව සිදුකරන බවත් අප වෙත සදහන් කරන ලදි.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ විවිධ වූ ආයතන දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ පළාත් පාලන ආයතන මට්ටමින් වෙන් වෙනවෙන් වශයෙන් තීන්දු තීරණ ගනිමින් ඔවුන්ගේ හිතළු වට වැඩ කරමින් පවතින යුගයක, මෙවන් වූ මහජන මුදලක් වියදම් කරමින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන ආකාරයකට ව්‍යාපෘති සිදු කිරීම තවමත් පුදුමයට කරුණකි. ලක්ෂ 44 ක මුදලක් මෙම ජනතාවට පානීය ජලය ලබාදීමට වසර දහයක් තුළ වෙන් කිරීමේදී එම මුදල උපයෝගී කරගනිමින් ජල සම්පාදන මණ්ඩලය තවමත් මෙම ගම්මානය සඳහාජලය ලබා නොදීම පුදුමයට කරුණකි.
“සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව 2025 වසර වන විට රටේ සියයට 100 ක් ජනතාවට නළජලය ලබා දීමේ මහඟු මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයකි. කරවටක් ප‍්‍රශ්න වලින් පිරි, නළ ජල කරාමය සොයා ගව්වක් දුර ඇවිද ගිය ජනතාවගේ දෙපාවලට විරාමයක් ලබා දීමේ අරමුණින් උපන් ගමනකි. ඒ ගමන අප අතරමඟ නතර කරන්නේ නැත. අප නතර කරන්නේ ජල නළ කරාමයක් සොයා ඇවිද ගිය ජනතාවගේ ගමනයි. කරාම සෙවීමේ ගමනට විරාමයක් නොව සදාකාලික පිළිතුරක් ලබා දෙමින් කරාමය ජනතාව සොයා යන ගමනක් අපි නිර්මාණය කළෙමු. සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සැමට ජලය යන සංකල්පය පෙරදැරිව උපන් ‘‘පවස නිවන ඉලක්කයට ගමට වතුර” නම් ජංගම වැඩසටහන් සේවාව ඉන් එකකි. දිස්ත‍්‍රික් මට්ටමින් සිදුකරන එම ජංගම සේවාව මගින් ජනතාව ලැබූ උපකාර අපමණය“
ඒ 2022 වසරේ සනත් නිශාන්ත පෙරේරා ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යට සිදු කර ප්‍රකාශයකි. නමුත් මෙම ගම ට තවමත් එකී අසිරිය උදා වී නැත.
(උපුටා ගැනීම දිවයින වෙබ් අඩවිය)
Leave a comment